ඉරිදා දවසේ සාමාන්‍ය වැඩ කටයුතු පටන්ගන්නට පෙර (සහ අද ක්‍රිකට් තරගයත් දිවා-රාත්‍රී එකක් යැයි වැරදියට හිතපු නිසා :) ) මම "ෆීඩ් රීඩරය" (ගූග්ල් රීඩර්) වෙත ගිහින් බලනකොට අපේ සයිබර් අවකාශයේ නම ගිය කවිකාරියක් වන බෝ ලියූ ලිපියක් දැක්කා. ඒ ලිපියේ තිබුනු කාරණාවක් ගැන හිතද්දී, යටගියාවේ මතකයක් ඇවිස්සුනු නිසා, බෝ ගෙ ලිපිය අග සටහනක් තියන්නත් ගත්තා. මගේ සටහන එතැනට තරමක් දිග වැඩියැයි හිතුනු නිසා, මෙහෙම මෙන්න මෙතන ඒ සටහන තබනවා.
සඳහන: මේ සටහනේ අග, කිසිත් නොකියා නිමා කළයුතු නිසා පැහැදිලි කිරීමක් දැන්ම කරන්නම්. මේ ලිපිය ලියැවෙන්නේ, එක් දිනක් අහඹු ලෙස මා කතා කල නිසයි. හිතේ තබානොගෙන, ඔද්දල් කරනොගෙන කතා කෙරුනු නිසයි. ඒ කතාකල එක ගැන මා සතුටු වන නිසයි.
වසර කීපයකට පෙර, විනෝද චාරිකාවක් යන්න අප කිහිපදෙනෙක් සූදානම් වුනු අවස්ථාවක, එක මිතුරෙක් අප පාසල්කාලයේ තවත් මිතුරෙකුව එක්කගෙන ආවා. තරමක කේන්තිකාරයෙක් හා සමාගමයට අපහසු අයෙක්යැයි අප තුල තිබූ ආකල්පය නිසා තරමක නොකැමැත්තකින් තමයි අපි මේ පුද්ගලයා ගමනට සම්බන්ධ කරගත්තේ.
චාරිකාව අතරතුරදී ඇතිවූ නොයෙක් කතාබහ නිසා ඒ මිතුරා ගැන තිබූ මගේ ආකල්ප තරමක් යහපත් අතට හැරී අපි නොයෙක් දේ ගැන කතා බහ කරා. චාරිකාවේ අවසන් දිනයට පෙර දා රෑ අපි කවුරුත් එකතුවී නොයෙක් විකාර දේ සහ හරබර දේ කතා කරමින් සිටියා.
ආදරය, මනුස්සකම, ජීවිතය යනාදී පැති හරහා ගතවුනු විවෘත, අවංක කතාබහකට පසුව මට මගේ වැරැද්ද පිලිගෙන මෙහෙම කියවුනා. "මචං, මෙහෙම කතා කරපු එක මාරයි. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳල උඹ ගැන වැරදියට තමයි හිතන් හිටියේ". අපේ මිතුරා ඒකට මේ වගේ පිළිතුරක් තමයි දුන්නේ. "මාත් උඹ ගැන අද වෙනකම් වැරදියට තමයි හිතන් හිටියේ". ඊට පසුව විටින් විට අපි කට්ටිය මුන ගැහුනා, අලුත් අවුරුද්දට යාලුවන්ගෙ ගෙවල්වල ගියා.
මාස කිහිපයකට පසු, මේ පිරිසෙන් එක යහලුවෙක් හදිසියේ මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. පෙර කිවූ අපේ මිතුරා ජීවිතයෙන් සමුගත් බව තමයි පණිවුඩය. විහිලුවක් යැයි පළවෙනි වර විශ්වාස නොකළත්, නැවත නැවතත් දුරකතනයෙන් කියවෙන පණිවුඩය ඇත්තක් බව මට වැටහුනා.
වෙහෙසකර දින කිහිපයකට පසු, අපි මහ වැස්සකට තෙමෙමින් ඔහුගේ නිවස අසබඩ දොල පාරක් ලඟදී අපේ මිතුරාට සමු දුන්නා. මහ ගොඩක් දේ ඒ දින දෙක තුනට සිදු වුනත්, ඔහුගේ මරණය ගැන නොයෙක් අය නොයෙක් මතවාද, විචාර ඉදිරිපත් කලත් අපට ඉන් ඇති බලපෑමක් තිබුනේ නැත. මිය ගියේ අප හඳුනන මිතුරා මිසක, වෙන අයෙක් නොවන බව විතරක් අප දැන සිටියා. අවමඟුලේ දුව පැන ඇවිද අප වැඩ කළේ, (තවත් මිතුරෙක් කී පරිදිම) අප මියගියානම් ඒ මිතුරා වෙහෙසක් නොබලා වෙහෙසෙන බව නැවත නැවතත් සිහිකරමිනුයි.
අලුත් සොහොනට පිටුපා හැරෙද්දී, වැස්ස ගැන නිනවුවක් නැතිව ඒ දෙස බලා උන්නේ මා පමණක්ම නොවන බව මා දුටුවා මතකයි. ඒ මිතුරා අපට මතකයි.
Sunday, February 8, 2009
Subscribe to:
Posts (Atom)